Tuesday, January 15, 2013

යක්ෂනියක්ව ඉපදුණු හින් කුමාරිහාමි ....


කාලෙකට පස්සේ ආයෙත් කතාවක් කියන්න ඕනේ කියල හිතුනා .. ඔන්න ඉස්සර කාලේ උඩරට පැත්තේ ගමක නිලමේ කෙනෙක් හිටියලු. මේ නිලමේගේ මැණිකේ ටිකිරි කුමාරිහාමි ඇත්තටම ලස්සන කෙනෙක්. මේ නිලමේ ඒ පැත්තේ හිටිය ලොකු වත්කමක් තිබුණු හොද වලව් කාරයෙක්  .. ඉඩකටම් පතුපිටි යානවාහන ඇති තරම් තිබුනත් දරු සම්පත් නැතිකමෙන් මැණිකෙයි නිලමෙයි හිටියේ ගොඩක් හිත් අමාරුවෙන් . දරු සම්පතක් ලැබෙන්න කියලා බලි තොවිල් කොච්චර කලත් එවයි වැඩක් උනේ නම් නෑ . ඉතින් මේ දෙන්න ගොඩක් හිතේ අමාරුවෙන් ඉන්නකොට එක ගුරුන්නාන්සේ කෙනෙක් කිව්වලු කතරගමට ගිහින් දෙවියන්නට  බාරයක් වෙන්න කියලා . ඊට පස්සේ ඉතින් එකත් කොරල බලමු  කියල දෙන්නත් එක්ක ගිහින් දෙවියන්ට බාරයක් උනාලු.


කොහොම කොහොම හරි කතරගම දෙවියන්ගේ පිහිට ලබාගෙන ඇවිත් පෝය 2 විතර යනකොට ටිකිරි කුමාරිහාමිට දරුගැබක් පිහිටළලු . දැන් ඉතින් නිලමේටයි මැණිකේටයි හරිම සතුටුයි. දැන් මේ දෙන්නා හොදින් පින්දහම් එහෙමත් කරනවලු . හතරපෝයටම දළදා මාලිගාවට ගිහින් දන්තධාතූන් වහන්සේ ට පුද පූජා එහෙමත් තියනවලු බොහොම භක්තියෙන්. ඔහොම කාලේ ගෙවිල ටිකිරි කුමාරිහාමි ලස්සන ගැහැණු දරුවෙක්  බිහිකළ නියම කාලේදී .. දේව වරමින් ලැබුණු මේ දරුවා හරිම ලස්සනයි .. මාස 6 – 7 යනකොටම දෙන්නා දුවත් එක්කම කතරගම ගිහින් බාරෙත් නිදහස් කරලා ඇවිත් සතුටින් කාලය ගතකලා.මේ ළමයට කවුරුත් ආදරේට කිව්වේ හින් කුමාරිහාමි කියලා . ඉතින් සැප සම්පත් එහෙමත් අඩුවක් නැතිනිසා හින් කුමාරිහාමි හොදින් වැඩුනා. මේ දැරිවි බොහොම ලස්සනයි . හරියට බෝනික්කෙක් වගේ . තමන්ට ඉන්නේ මෙච්චරම නිසා නිලමෙයි මැණිකෙයි මෙයාව බලාගත්තේ හරියට ඇහැක් වගේ . මෙහෙම කාලයක් යනකොට මේ දැරිවි වැඩිවියට පත් උනා . මේ කාලේදී මේ දැරිවිගේ ලස්සන කියන්න බැරිතරම්. මේ කාලේ වලව්වේ වැඩට හිටිය දාස කියල කොලුගැටයෙක් . දාස හොදට උස මහත තියන සද්දන්තයෙක් . හැඩ රුවත් හොදයි. හින් කුමාරිහාමිට මේ දාස නිතරදෙවේලේ මුණගැහෙන නිසාත් වලව්වටම වෙලා කිසිම පිරිමි ආශ්‍රයක් නැතිව ඉන්න නිසාත් මේ දාස ගැන පුංචි ආසාවක් ඇතිවුනා. දාසටත් ඇගේ ආදරයෙන් පලායන්න නොහැකි උනා .. දෙන්න ටික ටික කතාකරන්න පටන් ගත්තා ..මුලින් අහුමුලුවල කුටු කුටු ගගා හිටපු මේ දෙන්නාගෙ ආදරය තව තව වැඩි උනා .. කොහොම කොහොම හරි මේ ආරංචිය මැණිකේගේ කනට ආරංචි උනා . කුමාරිහාමිට හොදටම බැනවැදුණු ඇය දාසව වැඩෙන් අයින් කරන්න තීරණය කලා.


මේක ඇහුනු කුමාරිහාමි පහුවෙනිදම දාසත් එක්ක හොර රහසේම පැනල යන්න ගියා . නිකන් නෙවෙයි ගිහින් තියෙන්නේ ගෙදර තිබුණු රන්කාසි මල්ලකුත් අරගෙන තමයි ගිහින් තියෙන්නේ. වලව්වෙන පැනල ගිය මෙදෙන්න ගල්මල් ඔය පාමුල තිබුණු ගල්ගුහාවක පදිංචි වෙලා තියනවා . ඒ අතරේ මේ දෙන්නා පැනලා ගිය බව වලව්වේ කට්ටිය දැනගෙන . වලව්වේ කුමාරිහාමි කුල හීනයෙක් එක්ක පැනල ගිය කතාව මුළු ගම පුරාම පැතිරිලා ගිහින්ලු.  මේකේ අවනම්බුව දරාගන්න බැරුව නිලමේ මහවැලි ගගට පැනල මැරිලා . මිනිය ගොඩ අරන් ගෙදර එනකොට මැණිකෙට පිස්සු වැහිලාලු . ඒත් ඉතින් මේ කිසිදෙයක් දන්නේ නැති කුමරිහමියි දාසයි හේනක් කොටලා ඒවා තෙල්දෙණියට විකුණලා සතුටින් ජිවත් වෙනවලු . සැපසම්පත් අඩු උනත් ආදරයෙන් නම් අඩුවක් නැතිලු . කොහොම කොහොම හරි කාලයක් යනකොට කුමරිහමිත් දරුවෙක්  වැදුවලු . දැන් මේ තුන්දෙනා තවත් සතුටින් කාලය ගතකරනවලු . ඔහොම කාලයක් ගතවෙලා දැන් දරුවට වයස අවුරුද්දක් විතර ඇතිලු .. දවසක් දාස උදෙන්ම ගියාලු තෙල්දෙණියට, හේනේ එළවලු  විකුණන්න. එදා හොදටම වහිනවලු . හොදටම රෑ උනත් දාස ගෙදර ආවේ නැතිලු . කුමාරිහාමි හිතුවලු වහින නිසා කොහාට හරි වෙලා වැස්ස පායනක්ම් ඇති කියලා. ඒත් උදේ බලනකොටත් ආවේ නැතිලු . පස්සේ බැරිම තැන ගියාලු තෙල්දෙණියට හොයන්න. ඔහොම යනකොට කුමාරිහාමි දැක්කලු මිනිහෙක් ගල්තාවක නිදන් ඉන්නවා . බැලින්නම් දාසලු. නාහින් කටින් සෙම පෙරාගෙන ඉන්න දාස එතකොටත් මැරිළලු . කකුලක් හොදටම ඉදිමිලාලු . වටපිට බලනකොට දැක්කලු තුබහක් තියනවා. මේක දැක්ක කුමාරි හාමිට හිත වාවන්නේ නැතුව ගියාලු දරුවා පැත්තකින් තියලා මිනිය බදාගෙන ඇඩුවලු. පස්සේ දරුවා මතක්වෙලා දරුවා හිටපු තැන බලනොකොට මොන දරුවද ? දරුවා නැතිලු ..දරුවා නැති බව දැක්ක ගමන් කුමාරිහාමිගේ පපුව හෝස් ගාල ගියාලු . වටපිට බලනකොට දැක්කලු ඔයේ දරුවා පාවෙනවා . මේක දැක්කම මොන අම්මටද ඉවසන් ඉන්න පුළුවන් .දරුවා බේරගන්න හිතාගෙන කුමාරිහාමිත් පැන්නලු වතුරට .වැස්සට හොදටම වතුර වැඩි වෙලා තිබුණු නිසා ඇයත් ඒ ඔයටම බිලි උනාලු . අසීමිත දරු සෙනෙහස නිසාම මැරුණු ගමන් යක්ෂනියක් වෙලා, වතුරට වැටිලා මැරුණු දරුවාගේ යක්ෂ ආත්මෙත් වඩාගෙනම උඩට මතු උනාලු .


එදා ඉදලා මේ ලස්සන යකින්න ගල්මල් ඔයෙන් මතුවෙන්නේ ඔය දරුවත් වඩාගෙනමයි .  එහෙම ඇවිත් පාරේ යන පිරිමින් ලගෙට ගිහින් කියනවලු “ අනේ මේ දරුවා ගන්නවද රෙද්ද පොඩ්ඩක් හදාගන්නකම්”  කියලා. මේ දරුවා වඩාගත්තු ගොඩක් අය අමාරුවේ වැටුනලු . මේ ගෑනිගේ කොන්ඩේ පොකුටු නිසා ගල්මල් ඔයේ පොකුටි කියලයි එදා දුම්බර පැත්තේ මිනිස්සු හදුන්වල තියෙන්නේ .කොහොම උනත් පස්සේ ගුරුන්නාන්සේ කෙනෙක් ඇවිත් මේ අවතාරේ අල්ලලා අරන් ගිහින් වික්ටෝරියා ඇල්ලෙන් පහලට දැම්මලු . ඒ දවස්වල ඔය ඇල්ලට පොකුටිගේ ඇල්ල කියල තියෙන්නේ ඒ නිසයි.

12 comments:

  1. කතාව හොදයි හැබැයි අන්තිම ටික කියවද්දි මොහිණිගේ කතාව මතක් උනා නේ.

    ReplyDelete
  2. පොකුටි ගැන අහල තිබ්බා.... කවුරු හරි රියදුරෙක් කියපු කථාවක්.. ඒත් මේ විතරේ ඇහුවේ අදමයි....

    පටාචාරා කථාව වගේ... පොඩ්ඩයි වෙනස්

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  3. මට මේකේ ක්මෙන්ට් දාන තැන හොයාගන්න බැරිවුනා,අදමනේ ආවේ..ඒ නිසා උඩින් ක්මෙන්ට් එකක් දාලා ආයේ..මෙතනටම කොටනවා,අන්තිම ටික කියවද්දි නම් මටත් මතක් වුනේ මෝහිණිගේ කතාව,මී ගොඩයා අය්යා කිව්වා වගේ පටාචාරත් වගේ,,හැබැයි පව්,මුළු පව්ලම අකාලයේ මියඇදුනා.. :(

    ReplyDelete
    Replies
    1. අනේ පවු ශම්මියට .....දාන තැන හොයා ගන්න බැරිවෙලා.

      Delete
  4. හ්ම්ම් මොහිනිගේ කතාව වගේමනේ බං එල එල ජය ......!

    ReplyDelete
  5. මොහිනි ගේ කතාවෙම වෙන වර්ශන් එකක් නේ

    ReplyDelete
  6. මදැයි නයෙක් කරපු හදියක්...මෝහිණි වගේම තමයි නේද??

    ReplyDelete
  7. හැම හොල්මනක්ම පට්ට ලස්සන වෙන්නේ මේකයි එහෙනං...

    ReplyDelete
  8. මෝහිණිගේ ඇත්තම කතාව දන්න කෙනෙක් ඉන්නවද ?

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...