Thursday, June 13, 2013

බොහොමයක් දේ කියාගෙන තනිකම.....

තනියම ඉන්න කැමති කවුද. කවුරුවත් කැමති නෑ තනියම ජිවත් වෙන්න . කවුරුත් කැමති යාලුවෝ නෑදෑයෝ අසල්වාසීන් එක්ක සතුටින් කාලය ගතකරන්න . ඒත් මේ හැමෝම දවසක අපෙන් වෙන් උනොත් එදාට නම් දුකක් පාළුවක් දැනේවි .. තනිකම එහෙමත් නැතිනම් පාළුව කියන එක අපි කාටවත් නුපුරුදු දෙයක් නෙවෙයි. මොකද අපි කාටත් එක දැනිල තියන දෙයක් නිසා. නමුත් අපි කොයිම වෙලාවකවත් මේ තනිකමින් ප්‍රයෝජනයක් ගත්තාද කියන එකනම් ප්‍රශ්නයක්. එහෙම ප්‍රයෝජන ගත්ත අයත් ඇති ඒත් ඊට වඩා ඉන්නේ ප්‍රයෝජන නොගත්ත අය.ගොඩක් අය තමන්ට තනිකමක් පාළුවක් දැනුනම කරන්නේ තමන්ගේ ලගම මිතුරාට මිතුරියට , එහෙම නැතිනම් ආදරවන්තියට, ආදරවන්තයට ඇමතුමක් , SMS එකක් දාන එක. ඒත් ඔයිට වඩා වෙනස්ව හිතන මිනිස්සු කරන්නේ නම් ඒ තමන්ට ලැබුණු තනිකමින් උපරිම ප්‍රයෝජන ගන්න එක.


ගොඩක් අය තනිකමෙන් මිදෙන්න උත්සහ කරනකොට තව කෙනෙක් තනියම ඉන්න දගලනවා. දැන් කට්ටිය කියයි උඹත් තනි වූ ගවේශකයනේ කියලා. ඇත්තටම මටත් මේ blog ලිවිල්ලට set උනේ විභාගේ ඉවරවෙලා කරන්න වැඩක් නැතුව පාලුවෙන් ඉන්නකොට තමයි..කොහොම කොහොම හරි කවුරුත් නොකිව්වට ගොඩක් අය කැමති තනියම ඉන්න.  ලෝකේ ගොඩක් නිර්මාණ බිහිවෙලා තියෙන්නේ තනිකම තුලින්. ඒ තනිකම කියන දේ කෙනෙක්ගේ යටි සිත අවදිකරන නිසා . ගොඩක් වෙලාවට අපි දකිනවා සමහර මිනිස්සු තනියම ජිවත් වෙනවා . එතකොට අපිට හිතෙන්නේ නම් එයා ඉන්නේ හරිම පාලුවකින් වෙන්න ඇති කියලා . එහෙම කියලා අපි ගිහින් එයාගේ පාළුව තනිකම මකන්න හැදුවොත් ඒක සමහර විට ලොකු අවුලක් වෙන්නත් බැරිකමක් නෑ.


බස් වල යන ගොඩක් අය යන්නේ එයාලගෙම ලෝක වල. තරුණ අය කන් වල ඇබ ගහගෙන සිංදු අහනවා. සමහරු ඔහේ බලන් ඉනවා. සමහරු විදුරු වලින් එළියේ තියන දේවල් දිහා බලන් ඉන්නවා. ඔය අතරින් ලොකු කල්පනාවල ඉන්න අය ගොඩක් වෙලාවට බලන් ඉන්නේ වීදුරුවෙන් ඈතට පෙනෙන ගස් ගොඩනැගිලි දිහා.. මොකද කියන්න නම් දන්නේ නෑ. තනි වෙන්නටම තියන කැමැත්ත වෙන්නත් පුළුවන්. ගොඩක් අය තනිකම කියලා හදුන්වන්නේ තනිකමම නෙවෙයි . මොකද ගොඩක් අය කියන්නේ කෙනෙක් දාලා ගියාම එතන තියෙන්නේ තනිකම කියලා. ඒත් එතන තියන තනිකම දුක පමණක් තිබෙන තනිකමක්. ඒත් සත්‍යම තනිකම තුල  දුක , සතුට , භීතිය , කුතුහලය කියන සියලුම දේවල් තියෙන්නට පුළුවන්.  මොකද තනිකමින් ඉන්න කොට අපි කරපු , කියපුවා අනිවාර්යෙන් මතක්වෙන නිසා. එහෙම වෙලාවට මතක් වෙන්නේ මොකක්ද ඒකට අනුව මුණ නිකන්ම වෙනස් වෙනවා. ඔයාලා දැකලා ඇති එහෙම මුහුණු වෙනස් වෙන මිනිස්සු. හිටපු ගමන් හිනාවෙන. වෙලාවකට ඇස් වල කදුළු පුරවාගෙන ඉන්න අය. තනිකම මේ සියල්ලම වෙනස් කරනවා.
තනියම ඉන්න කෙනෙක්ට හිතට එන අදහස් බොහෝයි. පොත් ලියන ලේඛකයො පාළු තැන් වලට ගිහින් තමාගේ වැඩ කරන්නේ ඒ නිසාමයි. ඒ හිතට අදහස් ගන්න හොදම විදිය තනිකම බව දන්නා නිසා. තනිකම තුලින් මිනිසුන් වෙනස් වෙනවා. නරක පුද්ගලයෙක් හොද වෙන්නත් . හොද පුද්ගලයන් නපුරන් කරන්නත් තනිකම උදව් වෙනවා. මිනිසුන් පිස්සන් බවට පත් කරන්නත් මේ තනිකමට පුළුවන් . කෙසේ හෝ මිනිසා වෙනස් කරන ප්‍රධාන සාදකයක් විදියට තනිකම හැදින්වුවොත් එකේ වැරද්දක් නෑ.

මේ පුංචි කතාවක් “ එක පිරිමි ළමයෙක් හිටියා එයාගේ තාත්තා ලොකු සල්ලි තියන කෙනෙක්. මේ පිරිමි ළමයට උපරිම සැපක් තමයි තිබුනේ යන්න එන්න එයටම කියලා වාහනයක් , අතට පයට සේවකයෝ . කොහොම උනත් මේ ළමයා තවම ඉගෙන ගන්නවා . කොහොම හරි විභාගයත් ලන් වෙනවා . ඒත් මෙයාට තියන සැපත් එක්ක කවදාවත් මෙයා හරියකට පාඩම් කලේ නම් නෑ . විභාගේ ලියලා ටික දවසකින් ප්‍රතිපල එනවා මෙයත් එක්ක එකට හිටපු ගොඩ දෙනෙක් pass ඒත් මෙයාට තියෙන්නේ අන්තිම අඩු ලකුණු .මෙයත් එක්ක fun ගත්තු අය ඔක්කොම pass. ගෙදර ගියාම තාත්තා මෙයාට උපරිමට බනිනවා . බැරිම තැන මෙයා කරන්නේ ගෙදරින් යන එක . ගෙදරින් ගිහින් මෙයා එක යාලුවෙක්ගේ ගෙදරකට යනවා යාලුවෙක් කිව්වට මෙයා යෙහෙලියක්. ඒත් එතැන ටික දවසක් යන කොට ඒ යාලුවටත් එපා වෙනවා මොකද මෙයා ඉන්න විදියට . මේ ගෑනුළමය ලේකිකාවක් එයා වැඩ කරලා ගෙදර එනකොට ගෙදර පිස්සෝ නටලා වගේ. ඇයි ඉතින් මෙයා ගෙදරදී කාමර සුද්ද කරන්නත් කට්ටිය හිටියනේ  ඉතින් දවසක් මේ යාළුවා මෙයාට බැනල ගෙදරින් යනවා. අන්න එදා තමයි එයාට තනිකම කියන එක දැනෙන්නේ . එයා හිතනවා එහෙම  හිතල මෙයා තමන්ගේ හැකියාව හදුනා ගන්නවා. ඒ තමයි ඡායාරූපකරණය. මෙයාට හොදට පොටෝ ගන්න පුළුවන්. මෙයා ගත්තු දුර්ලබ පොටෝ ගොඩක් මෙයාගේ පින්තුර එකතුවේ තියනවා . මෙයා ඒවා පෙන්නලා සගරාවක ඡායාරුප ශිල්පියකුගේ තනතුරක් ලබා ගන්නවා.. එකෙන් මෙයා දියුණු වෙනවා . දෙමවුපියන්ගේ ආදරය ආයෙත් ලැබෙනවා. ” මේ ඔක්කොම මෙයාට ලැබෙන්නේ එදා අර යෙහෙළිය මෙයාට තනිකම පාළුව ලැබෙන්න සලසපු එකෙන්.

 ඉතින් තනිකම කියන්නේ අමුතුම හැගීමක්. මිනිසුන් වෙනස් කරන්න තනිකමට තියෙන්නේ පුදුම හැකියාවක්. අරුම පුදුම නිර්මාණ බිහිවන්නේත් . මිනිසුන් වෙනස් කරන්නෙත් මේ තනිකමමයි. ඉතින් මෙතරම් බොහෝ දේ කියා දෙන තනිකම අපේ හොදම මිතුරා වෙන්න බැරිද .. තනියම හිතලා බලන්න. සමහරවිට ඔයාලත් වෙනස්ම කෙනෙක් වෙන්න පුළුවන්..

2 comments:

  1. තනිකම, සමහර වෙලාවට හුඟාක් දේවල් උගන්නනවා, ඒකට හොදම උදාහරණෙ ඔයා අන්තිමට කියපු කතාවත්.. :)

    ReplyDelete
  2. තනිවයි උපන්නෙ තනිවයි මැරෙන්නෙ බං

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...